Working: 8.00am - 5.00pm
සක්මන් භාවනාව
සක්මන් භාවනාව
අඩි 30 විතර දිග තැනක් තෝරා ගන්න.ඊට මදක් අඩු උනාට කමක් නැත.ගොඩක්ම කෙටි උනොත් කැරකැවිල්ල වගේ එන්න පුලුවන්.
අඩි කීපයක් දුර බලා සෘජුව ඇවිද යන්න.පයේ පතුල් බිම වදින තැනට අවධානය දෙන්න.ඇස් ඇරගෙන කරන භාවනාවකි.
පැය භාගයක් වත් කළ යුතු බව කියවේ.
සමාධිය ගොඩක්ම වෙලා පවතින භාවනාවකි.ශරීරය සෞඛ්‍යයට ද හිතකර බව කියවේ.කායික සැහැල්ලුව මෙන්ම ප්‍රීතිය ද දැනේ.අනෙකුත් භාවනාවන් කිරීමට අමතර ශක්තියක් සපයන බව දැනී ඇත.ශබ්ද ඇති පරිසරයක උනත් කළ හැකි බව දැනී ඇත.දවල් දවසේ එහේ මෙහේ යනවිටත් දෙපතුල ට සිහිය ඉබේට ම යයි.
ඇවිදීම.
ඇවිදීමත් භාවනාවක් ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්.
ඔබට කළින් ලිපිවල දෛනික ක්‍රියාකාරකම් සිහියෙන් කිරීම භාවනාවක් කර ගන්න ආකාරය ටිකක් පැහැදිළි කරල ඇති.
ඇවිදින එකත් භාවනාවක් කර ගන්න ආකාරය බුදුදහම කියා දෙනව.එම භාවනාව සක්මන් භාවනාව කියල හඳුන්වනව.
අපි එම භාවනාව සිදුකරන ආකාරය බලමු.
අඩි විස්සක් විතර දිග ඉදිරියටත් ආපසුත් ආරක්ෂිතව ඇවිද යා හැකි තැනක් තෝරා ගනිමු.වඩාත් කෙටි දුරක් වුනොත් නිතර හැරෙන්න වෙන නිසා කැරකැවිල්ල වැනි අපහසුතාවයක් ඇතිවිය හැකි බව අපගේ අත්දැකීමයි.
මිදුලත් හොඳයි.
නැත්නම් වාහන නොයන ගෙදරක පාරක් වැනි ආරක්ෂාව ඇති තැනකුත් හොඳයි.
මූලික පුහුණු කාලයෙදි පාවහන් නොදා ඉන්නවනම් වඩාත් සුදුසු බව අපගේ අත්දැකීමයි.පොළව ටිකක් රළු වෙන තරමටත් හොඳයි.එතකොට කකුලට දැනෙන ස්වභාවය වැඩි බව කියන්න පුළුවන්.
ශරීරය කෙළින් තබා ගන්න.ඇස් ඇර ගන්න.අඩි කීපයක් ඉදිරිය බලන්න.අත් දෙක සාමාන්‍ය ආකාරයට තබා ගන්න.සමහර පොත් වල අත් පිටුපසට නැත්නම් බැඳගෙන සිදුකරන ලෙස තිබුනත් අපේ පුද්ගලික අත්දැකීම නම් දෙඅත් සාමාන්‍ය ආකාරයට තබා ගැනීමත් වරදක් නොවන බවයි.
දැන්,ඔබට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.සාමාන්‍ය වේගයෙන් ඇවිද යන ගමන් පතුල් බිම වදින විදිය ගැන සිත යොමු කරන්න.නැත්නම් පතුල් බිම ස්පර්ශ වන ආකාරය ගැන හිත යොමන්න.ස්පර්ශය දකිමින් සාමාන්‍ය වේගයකින් ගමන් කරන්න.
සිත වෙනත් අතකට ගමන් කරන සැරයක් පාසා නැවත පතුල් බිම වදින ස්පර්ශය වෙත අවධානය දෙන්න.
සිත එහේ මෙහේ යාම සාමාන්‍ය ස්වභාවයයි.එයට කණගාටු නොවී ඔබ කළ යුත්තේ දිගින් දිගටම පාද ස්පර්ශය වෙත සිත යොමු කිරීමයි.
කුරුල්ලෙක් කූඩුවකට දැම්මොත් එළියට යන්න නිතරම උත්සාහ කරනව.ටික කාලයක් ගතවෙනකොට එහිම රැඳී සිටීමට හුරු වෙනව.
සිතත් ඒ වගේම කාලයක් යනකොට එකඟ වෙන්න බලනව.
මෙය දින කීපයක් මුලින් හුරු වෙන්න අවශ්‍යය භාවනාවක්.
මෙම පුහුණුව දවසකට අවම වශයෙන් පැය භාගයක් වත් කිරීම අපගේ අත්දැකීම අනුව වඩාත් ප්රතිපලදායක වෙන්න පුළුවන්.
සක්මන් භාවනාව කියන්නෙ ඉතාම වැදගත්, ප්‍රතිපල ඇති භාවනාවක්.
අපි සක්මන් භාවනාවෙ ඇති ප්‍රයෝජන මොනවද කියලත් බලමු.
1-ශරීරයට භාවනාවට අමතරව ව්‍යායාමයක් ලැබීම.
2-කම්මැළිකම,නිදිමත ආදිය තුරන්ව යාම.
3-අනෙක් අයට නොදැනී භාවනාවක් කළ හැකිවන නිසා අනවශ්‍ය අවධානයකට ලක් නොවී සිටිය හැකි වීම.
4-සක්මන් භාවනාව සිදුකර වෙනත් භාවනාවක් කළ විට සාර්ථක වීමේ ප්‍රවණතාවක් ඇති බව පුද්ගලිකව අපට පෙනී ගොස් ඇත.
5-ඇවිදීමේ ව්‍යායාමය මොළයේ ක්‍රියාකාරිත්වයට හා මතකය වැනි සංජානන හැකියාවන්ට යහපත් බලපෑම් ඇතිකළ හැකි බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබීම.
6-ඔබට සාමාන්‍ය ජීවිතයේ ඇවිද යන විට පවා මෙම පුහුණුව කළ හැකි වීම.
7-ඇතිවන-නැතිවන ස්වභාවය එසේත් නොමැතිනම් උදය-වැය නිරීක්ෂණය කිරීමට යොදාගත හැකි වීම.
8-ශබ්දය ඇති පරිසරයක පවා පුහුණු කළ හැකි අභ්‍යාසයක් වීම.
9-දෛනික සිහිය පවත්වාගෙන යාමට උපකාරයක් වීම.
10-සක්මන් භාවනාවෙන් ඇතිවන සමාධිය දිගුවේලාවක් පවතවා ගැනීමට හැකි බව චංකමානිසංස සූත්‍රයේ සඳහන් වීම.
11-සමාධිය දියුණු කර ගැනීමට බෙහෙවින් උපකාර වීම.
12-කයේ සැහැල්ලුව,ප්‍රීතිය,ප්‍රසාදය ආදී ස්වභාවයන් ඇතිවීමට හැකියාව තිබීම.
13-ඉරියවුව ගැන අවබෝධයක් ඇතිකරගත හැකිවීම සහ ඇවිදිනවා කියන හැඟීම වෙනුවට පාද චලනය වීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ හැකි වීම.
14-වේදනාව ඇතිවන නැතිවන ආකාරය ගැන නිරීක්ෂණය කළ හැකි වීම.
15-ඉරියවු වෙනස් වීම සහ හේතු-පල සබඳතාවය පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට හැකි වීම.
16-පියවර වෙනස්වීම සහ අනිත්‍යතාව ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට හැකි වීම.
17-අපහසුවක් පැමිණි විට එය අපහසුවක් බවත්,සැහැල්ලුවක් පැමිණි විට එය පිළිබඳවත් සතිමත් වීමෙන් තෘෂ්ණාව හා උපාදානය ඇතිවන ආකාරය ගැනත් අවබෝධයක් ඇතිවිය හැකි වීම.
මෙම ගුණයන් හැකියාවන් එක්වරම ඇති නොවන බව වටහා ගමු.
නිරන්තර නිවරදි පුහුණුව,කැපවීම අනුව යහපත් ප්‍රතිපල අපේක්ෂා කරමු.
සැන්ටපෝඩ් විශ්ව විද්‍යාලය ඇවිදීම ගැන පර්යේෂණයක් කරල තියෙනව.මතකයට සහ ඉගැනීමට උදවු කරන මොළයේ හිපොකැම්පස් (hippocampus )ප්‍රදේශයේ ස්නායු සෛල වලට හිතකර විදිහට බලපාන බවත් සොයාගෙන තියෙනව.
කළින් සඳහන් කළ විදියට දවසකට පැය භාගයක් පමණ සක්මන් කරමු.
ප්‍රතිපල අපිම අත් විඳිමු.
Sadaham Sarana - Copyright . All rights reserved.