by Admin
02 May, 2026
සංවාදයට පණිවිඩයක්
සත්‍යාවබෝධයට පියගැට පෙළක් 32-
බඹරුන්ගෙන් උගත් පාඩම- අපගේ ජීවිත් වීමේ අයිතිය පැහැර ගැනීමට සැලසුම් කරන කවර හෝ දුෂ්ඨ බලවේගයක් ගැන සරලව සිතිය යුතු නැත යන්නයි.
බඹරුන්ගෙන් උගත් පාඩම- ගෙදර පිටිපස්සෙ බාල්යක බඹරු වදයක් හදන්න පටන් අරගෙන. ගෙදර කට්ටිය ඕන මරාලයක් මගේ කරපිට දාන්නෙ. “කරදරයක් වෙන්න කලින් ඕක අයින් කරන්න.” “මම කොහොමද ඒක කරන්නෙ. උන්ගෙන් මට හිංසාවක් නොවුන නිසා. හිංසාවක් වුන දවසට අයින් කරනව.“ මගේ කතාව ගෙදර අය අනුමත කළේ නැත. ඔවුන්ගේ මතය වූයේ බඹරුන් ස්වභාවයනේම ප්රකෝපකාරී සත්ව කොට්ඨාශයක් වන බැවින් උන්ගේ ගහණය වැඩි වෙන්නට පෙර ඉක්මනින් ඉවත් කළ යුතු බවයි. මම ඔවුන්ට බුදු බණ අනුව අවිහිංසාවේ වටිනාකම කියා දුනිමි. සහජීවනයේ අගය පහදා දුනිමි. අප එකිනෙකාගේ නිදහසට ගරු කරන තරමට මේ ලෝකය අපට ක්ෂේම භූමියක් බවත් පෙන්වා දුනිමි. මාස කිහිපයක් යන විට බඹර වදය අනුක්රමයෙන් විශාල කරමින් අඩි කිහිපයක් දිගට තනා තිබෙනු දක්නට හැකිවිය. ‘‘බලන්න මගේ මෙත් සිතිවිලි වල බලය. එකම බඹරෙක්වත් විදින්නෙ නෑ නෙ.“ දින කිහිපයකට පෙර නිවැසියෙකු මට කීවේ බඹරෙකු ඇන්න බවයි. මම නිවැසියන්ට සැරවී සාමයේ අගය කියා දී සුපුරුදු නිස්කලංක ජීවිතය ගත තිරීමට බලාපොරොත්තුව සිටියෙමි. නිර්දෝෂී අපට දරුණු ම්ලේච්ඡ සහ අවසානාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට බඹරුන් තීරණය කර ඇති බව මා ඇත්තටම දැන සිටියේ නැත. එදින සවස මා ජල කරාමය අසලට යන විට බඹර පිරිස කිසිදු අනතුරු හැගවීමක් නොකර මා වටකර අනින්නට පටන්ගත්හ. මම නිවෙසට දුවගොස් පණ ගලවා ගතිමි. එක්කෝ මා ඇතුළු නිවැසියන් බඹරුන්ට නිවස භාර දී එදිනම ඉන් පිටවිය යුතුය. නැතිනම් වහා ක්‍රියාත්මක වී ජීවත්වීමේ අයිතිය ක්‍රියාත්මක කළ යුතුය. මම දෙවන විකල්පය තෝරා ගතිමි. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සමස්ථ බඹර වදයම ගලවා ඉවත් කළෙමි. ඒ භයානක අත්දැකීමට මාස දෙකක් පමණ ගතවී ඇතත් බඹරුන් දෂ්ඨ කල ස්ථාන තවමත් ඇදුම් දෙයි. බාගෙවිට බඹර විෂ තව නොබෝ දිනකින් පහව යනු ඇත. එනමුත් බඹරුන් මට ඉගැන්වූ පාඩම දිවි ඇති තුරු අමතක නොවනු ඇත. ඒ පාඩම නම් අපගේ ජීවිත් වීමේ අයිතිය පැහැර ගැනීමට සැලසුම් කරන කවර හෝ දුෂ්ඨ බලවේගයක් ගැන සරලව සිතිය යුතු නැත යන්නයි.