Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 20- බුද්ධ ශාසනේ තව පිරිහෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද?
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 20- බුද්ධ ශාසනේ තව පිරිහෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද?
“අද අප්‍රේල් 12 වෙනිදා පන්සලට දානෙ.
දානෙට හාමුදුරුවරු කී දෙනෙක් ඉන්නවද අපෙ හාමුදුරුවනෙ?”
අම්ම ඇහුවම 20කට සැහෙන්න ගේන්න කිව්වා.
ඔන්න ඉතිං විස්සකට සෑහෙන්න ගෙනිච්ච කියමු. එතැන හතර පස් දෙනෙකුට වැඩිය නෑ. අමු මුසාවාදයක් කියල තියෙන්නෙ.
ඒ මදිවට දානෙ බාරගන්න කෙනෙක් නෑ. ඔක්කොම තම තමන්ගෙ වැඩවල.
දානෙ බාරගන්න කෙනෙක් නැත කියල අම්ම පැමිණිලි කරාම ලොකු හාමුදුරුවො සාමනේර නමක් එවනව.
“දානෙ ඔහොම තියල යන්න.”
“ඇයි? මළගිය ඥාතීන්ට පිං අනුමෝදන් කරන්නෙ නැද්ද? පවුලෙ මළගිය ඥාතීන්ගෙ ලැයිස්තුවක් ලියාගෙන ආවා.”
“අපි පිං දෙන්න දන්නෙ නෑ. දානෙ ඔහොම තියල යන්න. “
අම්ම බුද්ධ පූජාව තියල එයාම මළගිය ඥාතීන්ට පිංදීල ගෙදර එන්න හදනකොට ඔන්න හාමුදුරු නමක් පල්ලෙහාට එනවා. මොකද ඒ හාමුදුරුවො දන්නව අම්ම දානෙ ඉවරවුනාම තමන්ගෙ සොච්චං පෙන්ෂන් පඩියෙන් පුලුවන් හැටියට ලොකු ගාණක් පූජා කරනව කියල.
අම්මා බොහොම ගරු සරු විදියට කතා කරල රුපියල් 5000 නෝට්ටුවකුත් පූජ කරලා ගෙදර එනව.
ගෙදර ඇවිත් හිතේ දුකෙන් එක දිගට කියව කියව ඉන්නව.
“ඇත්තටම මම යන ගමනක් නෙවෙයි. ඔය ගියේ. මටත් ඔයාට වගේ පන්සල තිත්ත වෙලා. නමුත් වළ පයයි ගොඩපයයි ඉන්න මම පන්සල් නොගියොත් පාංශු කූලෙට කවුරුවත්ම නැති වෙනව. “
මම අම්මාගේ හිත සනසන්නට වීමි.
ඇත්තටම මම අද නොගියෙත් ඔය හේතුව නිසා.
ගියපාර මම පන්සලට ගියේ ත්‍රී වීල් එකකින්. මොකද පන්සලට ඇතුලු වෙන මකර තොරණ ගාව ගහල තියෙනව වාහන ඇතුලු කරන්න එපා කියල. ඒ නිසා ත්‍රී වීල් එකකින් පන්සලට ගිහින් දානෙ අඩුක්කුවත් අරං පයිංම ආවාස ගෙට ගියා.
එදාත් කවුරුවත් නෑ දානෙ බාර ගන්න.
මට පන්සල ටිකක් හුරු පුරුදුයි. මම පිටිපස්ස පැත්තෙන් ගියා.
හාමුදුරුවරුන් කිහිප දෙනෙක් එයාල එයාලගෙ වැඩ.
“හාමුදුරුවනෙ අපෙ දානෙ බාරගන්න. අම්මට සතුටක් දැනෙන්නෙ දානෙ බාරගෙන මළගිය ඥාතීන්ට පිං දුන්නොත් විතරයි. “
“අද ඒක කරන්න බෑ.”
“ඇයි ඒ?”
“අද උදේ ඇමතිතුමාගෙන් කෝල් එකක් ආවා ඇමතිතුමා දානෙත් අරගෙන එතුමගෙ මෑණියන් වහන්සෙ එක්ක පංසලට එනව කියල.”
මම දෙලොවක් අතර තනිවීමි.
ඒ අතර පන්සල පිටුපස දාන අඩුක්කු කිහිපයක්ම විය.
“ඇයි මේ දාන අඩුක්කු පිටිපස්සෙ ගෙනැත් දාලා?””එක වාරෙකට ගෙවල් තුනකට විතර දානෙ කියනව.
එහෙම ගෙනාවට පස්සෙ හොද දේවල් ටික තෝරල වෙන් කරගෙන පන්සලේ බතක් හදාගෙන වළදනව. එහෙම තමයි කවදත් කෙරෙන්නෙ.”
මේ අතර ඇමති තුමා කිරිපාට ප්‍රාඩෝ රථයෙන් පන්සලට වැඩම කලේය. ලොකු හාමුදුරුවන් ඇතුලු පිරිස ඇමතිතුමා පිලිගැනීමට දාන ශාලාව පැත්තට වැඩම කළහ.
මෙය සියයට සියයක් ඇත්ත කතාවකි. මීට වඩා බොහෝ අප්‍රසන්න අත්දැකීම් රැසක් මට කියාගෙන කියාගෙන යා හැකිය.
පන්සල් බහුතරයක් අද ක්‍රියාත්මක වන්නේ බුදුදහම අප්‍රිය කරවන ආයතන ලෙසය.
මෙලහටත් ලක්ෂ ගණනක පිරිසක් බුදුදහම හැර ගොස් හමාරය. ලංකාවේ බෞද්ධයන්ගෙන් දසලක්ෂයකට වඩා පිරිසක් ඉස්ලාමය වැළදගත් බවට වීඩියෝවක් යූ ටියුබ් හි සංසරණය වේ.
“මිනිසුන් පන්සල හැර යාමට පෙර පන්සල ඔවුන් හැර ගියේය.
දුප්පතුන් බුදුදහම හැර ගියේ ඊට පෙර බුදුදහම ඔවුන් හැර ගිය බැවිනි. “
ඇත්තම කතාව එයයි.
පංසලට වඩා දස දහස් ගුණයක් පල්ලිය දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන සංවේදීය. දැනටමත් මුස්ලිම් ප්‍රජාව තම ආදායමෙන් සියයට පහක් පමණ දුප්පතුන් අතර බෙදා හරිනු පිනිස මුස්ලිම් පල්ලිවලට ප්රදානය කරති. මිල මුදල් යහතින් ඇති අය එබදු ප්‍රදානයන් කරනුයේ ලක්ෂ ගනනින් නොව කෝටි ගණනිනි.
එවන් ප්‍රවණතාවයක් පවතිද්දී චෛත්‍ය වටා සිවුරු හැන්දවීම, චෛත්‍ය වලට ආහාර ටොන් ගණන් පූජා කිරීම වැනි ප්‍රදර්ශනාත්මක පූජාවන් අප විසින් කළ යුතුද? නොඑසේ නම් අන්‍යාගමිකයන්ගේ උසස් ගති පැවතුම් ආදර්ශයට ගෙන අප වහ වහා වෙනස් විය යුතුද?
තීරණය ඔබ අතේය. බුදුසසුන රැකෙන බව හෝ වැනසෙන බව තීරණය වනුයේ ඔබ අද ගන්නා ඒ තීරණය මතය.
Nilantha Hettige
Sadaham Sarana - Copyright . All rights reserved.